සිනමා නිර්මාණයන් මගින් සමාජීය ප්‍රශ්න නිරූපණය කරයිද?
"දඩයම" සහ "තුන්වෙනි යාමය" යන චිත්‍රපට ද්විත්වය ඇසුරෙන් විමසා බලමු.
සිංහල සිනමාවේ ගුණාත්මක වශයෙන් උසස් විය යුතු යැයිද එහිදී වුණු කලාත්මක ලක්ෂණ තිබිය යුතු යැයිද සිනමාවේ තේමාවන් හුදු විනෝදය සපයන ලද ඒවා නොව ජීවිත පරිඥානය ලබාදෙන ඒවා විය යුතු යැයි ද යනාදී හැඟීම් සිංහල සිනමාව තුළ ලියලා වැඩෙන්නට වූයේ ය. ජීවන අත්දැකීමක් කලාත්මකව හැසිරවීමටද චිත්‍රපටය යොමු විය. මුළු මහත් සමාජය පිළිබිඹු කරන චිත්‍රපට බොහොමයක් නිර්මාණය වන්නට විය. සමාජයේ පවතින විවිධ වූ සමාජ ගැටලු නිරූපණය වන ආකාරයේ චිත්‍රපට බිහිවන්නට විය. මේ ආකාරයේ සමාජ ගැටළු සඳහා සිනමාවේදීන් විවිධ තේමාවන් ඔස්සේ සිනමාවේ නිර්මාණයන් ගොඩනැගීය.
සමාජයේ පවතින විවිධාකාරයේ ප්‍රශ්න අතරින් කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්න අතරින් ගෘහස්ථ හිංසනය බහුලව දැකිය හැකි ගැටලුවකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන්න ගෘහයක් තුල සිදු වන්නක් වේ යන්න ගම්‍ය වනු ලබන්නේ වී නමුදු ඉන් පරිබාහිරව සිදු කරනු ලබන ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ද යම් යම් අවස්ථාවන්හිදී මීට අයත් වන ලැබේ. මේ පිළිබදව කතාබහ කරනු ලබන සෑම පුද්ගලයකුගේම මනසට නැගෙන පොදු සංකල්පය වනුයේ ගෘහය මූලික කරගෙන පවුල තුළ සිදුවනු ලබන හිංසනය යන්න වේ. කෙසේ වුවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු ඉතා සමීප සම්බන්ධතාවයක් තුළ කායික, ලිංගික, වාචික, චිත්තාවේග හෝ මානසික බලපෑමක් කිරිමක් විය හැකිය.එය ඇත්ත වශයෙන්ම තර්ජන කිරීමක් විය හැකිය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය භාවිතා කරනුයේ පීඩාවට පත්වූවන් පාලනය කිරීමට, බය කිරීමට සහ ඔවුන් කිසිම බලයක් නොමැති අය ලෙස පෙන්වීමටය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන්න එක් හිංසාකාරී ක්‍රියාවක් හෝ කිහිපයක එකතුවකි. එක් ක්‍රියාවක් තනිවම පාලනය කළ එතරම් බරපතළ නොවන නමුදු සමස්තයක් ලෙස ගත්කල ප්‍රචණ්ඩත්වය වූ ලෙස සැලකේ. තමන්ගේ සහකාරිය , පෙම්වතිය, මව, දුව, යනාදි ඔිනෑම කෙනෙකු වෙනස් කිරීමට පාලනය කිරීමට ඇති පැහැදිලි චේතනාව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන්න පිළිබිඹු වේ. කෙසේ වෙතත් අද වන විට බොහෝ සෙයින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගෘහය මුල් කරගෙන සිදුවේ.
එවන් ගැටළු අතර කාන්තාවට මුහුණ දීමට සිදුවන ගැටලු බොහොමයක් මුල් කරගෙන සිනමාවේ ගොඩනැගුණු කාන්තා චරිත බොහෝ ය. ඒ අනුව ගෘහස්ථ ප්‍රචන්ඩත්වය යටතේ ශාරීරිකව මෙන්ම මානසිකව හිංසනයට ලක්වන කාන්තාවන් දෙදෙනෙකු මුහුණ දෙන වෙනස්ම ආකාරයේ ප්‍රශ්න පාදක කරගනිමින් නිර්මාණය වු “දඩයම” සහ “තුන්වෙනි යාම” යන සිනමා නිර්මාණයන් ද්ව්ත්වය තුළින් විමසා බලමු.
ප්‍රථමයෙන්ම “දඩයම” නැමති සිනමා නිර්මාණය පිළබදව විමසා බැලු විට නිරූපිත චරිත අතුරෙන් දඩයමේ නිරූපිත රත්මලි ගේ චරිතය ග්‍රාමීය කාන්තාවන් සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කළ හැකි වැදගත් චිත්‍රපටයක් වශයෙන් හඳුන්වා දිය හැකියි. ඇය ශාරීරිකව මෙන්ම මානසික මුහුණ දෙන ප්‍රශ්න බොහෝය.
දඩයම සිනමාකරුට වස්තු විෂය වනුයේ ආත්මාර්ථකාමී සල්ලාල දිවියක් ගෙවන ජයනාත් නම් වු තරුණ ගුරුවරයකු හා ඔහුගේ රූපයට බාහිර ආටෝපයන්ට මෙන් ම සුඛෝපභෝගී ජීවිතයට වශිකෘතව පෙමින් බැදෙන රත්මලී නම් ගැමි තරුණිය අතරේ සම්බන්ධතාවයි.
ජයනාත් නැමැති ජේත්තුකාර තරුණයකු සමග සමීප සම්බන්ධයක් ගොඩනගාගන්නා රත්මලී ඔහුට ප්‍රේම කරන්නෙ බෙහෙවින් බලාපොරොත්තු සහගතව දැඩි විශ්වාසයකිනි. චිත්‍රපටයේ දැක්වෙන එක් අවස්ථාවක රත්මලීි සිය මිතුරියකට “එයා දැන් වුණත් මාව බඳින්න කැමති” යනුවෙන් කරනු ලබන ප්‍රකාශයෙන් එය පැහැදිලිවේ. යථා කාලයේදී ජයනාත් නිසා ඇය තුළ දරු ගැබක් හට ගනී. ඇය ඔහු කෙරෙහි විශ්වාසය තැබුවත් ඔහු තුළ පවතින්නේ වංචාකාරී සිතුවිල්ලකි. ඔහුට අවශ්‍ය වන්නේ ඇය තුළ පවතින්නා වූ මෙම විශ්වාසය මගින් ඇගෙන් ගත හැකි සියලුම ප්‍රයෝජන ගැනීම පමණකි. තරුණියක වශයෙන් මවක වශයෙන් සහෝදරික් වශයෙන් කාන්තාවකගේ ජීවිතයේ ඇති වටිනාකම හඳුනා නොගත් ඔහුට අවශ්‍ය වනුයේ ඇය හා කායිකව එක් වීම පමණකි. ඇය මේ තුළින් මානසික ලෙස පීඩාවට ලක් වේ.
ඇය ගැබ් ගැනීමත් සමඟම ජයනාත් ඇගෙන් පලා ගියද ඈ නැවතත් ඔහු සොයා යයි. මේ අයුරින් ඇගෙන් පලා යාම අපහසු බව වටහා ගගන්නා ජයනාත් ඉතා සියුම්ව උපක්‍රමශීලීව විවාහ කර ගන්නා බවට බොරු පොරොන්දු දී ඇය රවටයි. එම අවස්ථාව වන විටත් වෙනත් තරුණියක හා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින ජයනාත් නැවතත් රත්මලී හා සබඳකම් පවත්වයි. මෙසේ යළිත් වරක් ඔහුට රැවටෙන රත්මලී දෙවන වරට ද ඔහු නිසා ගැබ් ගනී.
එක් වතාවක් තමාව රැවටු වංචා කළ පුද්ගලයාට දෙවැනි වතාවටද රැවටෙයි. ඔහු කෙරෙහි හටගත් ප්‍රේමය හේතුකොට ගෙන ඇය සියල්ල ම දකින්නේ සුභවාදී ආකල්පයකි. තමා ආශ්‍රය කරන පුද්ගලයාගේ සැබෑ ගති ස්වභාව වටහා ගැනීමට වුවද ඇය අසමත් වනුයේ ප්‍රේමයේ මායාකාරී පටලයෙන් මෙන්ම ආත්මීය ඌනතාවන් නැමති පටලයෙන්ද ඇගේ දෘෂ්ටිය අඳුරු ව තිබූ බැවිනි. ජයනාත්ව තව තවදුරටත් විශ්වාස කරන රත්මලී ඔහුගේ නියම ස්වරූපය දැක ගත හැකි වන්නේ දෙවන වරට ද ඔහුගේ උගුලට හසු වීමෙන් පසුවය.
දෙවන් වරට ද ඔහු නිසා ගැබ් ගත් ඇය තමාව විවාහ කරගන්නා ලෙස ඔහුට පැවසීමට යන අවස්ථාවේදී ඔහු තමාගෙන් ඈත් වීමට තමුන්ව මග හැරීමට උත්සාහ ගන්නා බවත් වටහා ගනියි. ඔහු මෙතෙක් කල් තමාට කරන ලද්දේ වංචාවක් බව ඇය විසින් වටහා ගනු ලබන්නේ මේ අවස්ථාවේදීය.
“එහිදී ඔය වෙලාවට ගෑනු මිනිස්සු පොරොන්දු වෙන ඒවා ලොකුවට ගන්න එක මහා මෝඩකමක් යනුවෙන්ද උඹ මේ සම්බන්ධයෙන් ගණන් ගත්තට මම ගණන් ගත්තෙ නැහැ බං” යනුවෙන්ද ජයනාත් විසින් එල්ල කෙරුණු ප්‍රහාරාත්මක ප්‍රකාශයන්ගෙන් ඔහුගේ සැබෑ ස්වරූපය අනාවරණය වෙයි. පුරුෂයෙකු විසින් කාන්තාවකට එල්ල කළහැකි වන දරුණුම ප්‍රහාරය ජයනාත් විසින් රත්මලීට එල්ල කර ඇත. ඇය මෙම අවස්ථාව තුළදි වාචික ලෙස හිංසනයට ලක් වන අයුරු මෙම සිදුවීම උදාහරනයක් වශයෙන් දැක්විය හැකිය.
ජයනාත් වැනි ඉහළ පන්තියකට අයත් තරුණයෙක් රත්මලී වැනි දුප්පත් තරුණියක ඇසුරු කළ හොත් එසේ ඇසුරු කරනුයේ ඇය හා විවාහ වීමේ අවශ්‍යතාවයට වඩා තම අවශ්‍යතාවන් ඕනෑ එපාකම් සපුරා ගැනීමේ පරමාර්ථයකිනි. මෙවැනි සම්බන්ධතාවකින් ජයනාත් වැනි තරුණයෙක් බලාපොරොත්තු වන්නේ හුදු විනෝදාස්වාදය පමණි. ජයනාත්ගේ මෙම ස්වරූපය නියමාකාරයෙන් වටහා ගැනීමට බැරි වීම රත්මලීගේ චරිතයෙහි දක්නට ලැබෙන ඌනතාවයකි.
මිනිසා බොහෝ අවස්ථාවල ආදරය කරනුයේ එම හැඟීම් එහි නියම ස්වරූපය වටහා ගෙන සම්පූර්ණ අවබෝධයකින් යුතුව නොවේ. ලිංගික සම්බන්ධතාවක් යන්න ප්‍රේමයේ එක් තීරණාත්මක අවස්ථාවකි. එවැනි ක්‍රියාවකට මුල පුරන විට සැබෑ අන්‍යෝන්‍ය වැටහීමක් පිළිබඳ පදනම වැදගත් ය. එනම් ලිංගික සම්බන්ධතාව යන්න ගැඹුරු බරසාර ප්‍රේමයක් මත ගොඩනගා ගත යුතු සම්බන්ධතාවකින් සාමාන්‍යයෙන් පවතින සමාජ ක්‍රමයෙහි මෙබඳු බරසාර ප්‍රේමයක් මත ගොඩනැගෙන සම්බන්ධතා දැකීම දුෂ්කර ය. බොහෝ විට දක්නට ලැබෙන්නේ අනවබෝධයෙන් පැහැදිලි වැටහීමකින් තොරව ඇතිකරගෙන ලිංගික සම්බන්ධතාවන් ය. දඩයමේ නිරූපිත රත්මලි වෙතින් ද දිස් වන්නේ මෙබඳු වූ ලක්ෂණයකි.
රත්මලී ගේ මෙම ආත්මීය ඌනතාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ජයනාත් ඇයව දකින්නේ තමාට අවශ්‍ය අවස්ථාවට විනෝද විය හැකි අනවශ්‍ය අවස්ථාවකදී අහක දැමිය හැකි සෙල්ලම් බඩුවක් හැටියටය. ජයනාත්ගේ මෙම වංචාකාරී ක්‍රියා කලාපය ම අවසානයේ රත්මලී තුළ දරදඬු ගති ස්වභාවයක් ඇති කිරීමට හේතුවේ. ජයනාත් ඇතුළුව සමස්ත සමාජයේන් ම පීඩා විඳින ඇය එම සමාජය ජය ගැනීමට සිතන්නේ පුද්ගලික පලිගැනීමක් සැලසුම් කිරීමේනි. පූර්වයෙන් ඔහු කෙරෙහි පැවති ප්‍රේමය වෙනුවට මැය තුල දැඩි වෛරයක් හට ගනියි. ඔහුගේ යථා ස්වරූපය වටහා ගත් ඇය ඔහු පසුපස ලුහු බඳින්නේ ඔහුගේ විනාශය කටින අවතාරයක් මෙනි. මෙම සිදුවීම් මගින් දැඩිව මානසික ලෙස පීඩාවට හිංසනයට ඇය ලක්වන අයුරු දැකිය හැකිය.
“උඹලා හිතන්නේ අපේ සෙල්ලම් බඩු කියලා. අහක දාන්න පුළුවන් හප කියලා. උඹ මගේ අනාගත බලාපොරොත්තුව නැති කළා. ජිවිතේ විනාශ කළා. මගේ මුළු පවුලම විනාශ කළා..”
ජයනාත් තමාව රවටමින් මගහහැරීමට සැරසෙන් බව දැන දැනත් ඇය ඔහු පසුපසම ලුහු බඳින්නේ ඔහු තුරුලට වී පෙම් බස් දොඩමින් සිටීමේ රිසියෙන් නොව ඇය ඇයගේ ජිවිතය වැරදුනු තැනින් නිවැරදි කර ගැනීමටය. ඒ අනුව පවතින සමාජ ක්‍රමයට අනුව තමාට නිත්‍යානුකූල ස්වාමි පුරුෂයෙකු දරුවන්ට නීත්‍යානුකූල පියකු අවශ්‍ය වූ බැවිනි. ආදරයෙන් අවංකකමින් කරගත නොහැකි වූ විවාහය බලහත්කාරයෙන් හෝ ඉටු කර ගැනීමට ඇය සිතන්නේ එහෙයිනි. මෙවැනි ක්‍රියා මගින් තවදුරටත් රත්මලී මානසික ලෙසත් වාචිකවත් හිංසනයට ලක් වේ.
“බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බැහැ. එක්කෝ උන් වෙඩි තියලා මරා දාන්න ඕනෙ. නැත්නම් බඳින්න ඕන. මට කරන්න පුළුවන් බල්ලව බැඳලා දාන එක විතරයි.”
ඔහු විසින් තමන්ට අත් කර දුන් අවාසනාවන්ත තත්ත්වය ද තමන් විසින් ඔහුට එල්ල කළ හැකි දරුණුම ප්‍රහාරය ඔහු හා විවාහ වීමෙන් පමණක් ලබාදිය හැකි බව සැලකූ හෙයිනි. එනම් තරුණියන්ගේ ජීවිතය හා සෙල්ලම් කරන ඔවුන්ව හුදු විනෝදය සඳහා පමණක් පාවිච්චි කරන පුරුෂයෙකුට දිය හැකි හොඳම දඬුවම නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා හැටියට ඔහුව පාවා ගැනීම පමණක් යැයි ඇය සිතූ බැවිනි. බල්ලන්ට හැමදාම දඩාවතේ යාමට ඉඩ නොදී බලා බැඳලා තබා ගැනීමට තීරණය කරන්නේ එබැවිනි.
කෙසේ වෙතත් බල්ලා මරා දමන්නට තබා බැඳ දමන්නට ඇය අපොහොසත්ය. ජයනාත් ඉදිරියේ තමන්ට යෙදිය හැකි උපරිම ශක්තිය යොදා ඔහුව මෙල්ල කරගැනීමට රත්මලී සටන් වැදුනත් එය උත්සාහයකට පමණක් සීමා වූවක් බව පෙනී යයි. ජයනාත් තමන්ව මඟහරින බව දැන දැනත් ඔහු පසුපසම ගොස් තමා විවාහ කර ගන්නා බවට ඔහුට කර තර්ජනයට ජයනාත් සිය ප්‍රහාරාත්මක අවසාන පිළිතුරු සපයන්නේ ඇය කැලයකට ගෙන ගොස් තම මෝටර් රියට යට කොට මරා දැමීමෙනි. රත්මලී මේ අයුරින් ශාරීරිකව නොයෙක් අවස්ථාවන් වල හිංසනයට ලක්වේ.
මෙම දඩයම සිනමා නිර්මාණයේ රත්මලී මුහුණ දෙන ප්‍රශ්න හමුවේ ඇය දැඩි ලෙස මානසිකව මෙන්ම ශාරීරිකව පීඩාවන්ට ලක් වේ. එහ මැනවින් මෙම සිනමා නිර්මාණය අධ්‍යනය කිරීමේදි පැහැදිලි වේ. නිර්මාණකරු සමාජයේ කාන්තාවන් මුහුණ පාන ගෘහස්ථ ගැටළු අතරින් කිහිපයක් මෙම නිර්මාණය මගින් ගෙන දක්වයි.
තවදුරටත් ගෘහස්ථ හිංසනය පිළිබදව විමසා බැලීමේදී තුන්වෙනි යාමය නැමති සිනමා නිර්මාණයද තවත් එක් නිදර්ශනයක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. ප්‍රින්සි නැමති කාන්තාව තම විවාහ දිවිය තුළ මානසික වශයෙන් පීඩාවට ලක්වන අයුර මෙකී සිනමා නිර්මාණය මගින් පෙන්වා දෙයි.
ඒ අනුව මෙම චිත්‍රපටයේ මෛථුන්‍යය පිළිබඳව සංසර්ගය පිළිබඳව බියකින් පෙළෙන විකෘති වූ මානසිකත්වයක් ඇති පුද්ගලයකු හා විවාහවීමෙන් විනාශයට පත්වන කාන්තාවකගේ ඛේදවාචකය කියාපාන්නෙකි. විකෘත වු රෝගී වු සමාජයක කාන්තාව පෙළන පීඩනය ප්‍රින්සිගේ චරිතය මගින් අනාවරණය කෙරේ.ප්‍රින්සිගේ චරිතය සහෘදයා හමුවට පත් කෙරෙන්නේ විවාහ වූ රාත්‍රියේම බලාපොරොත්තු සුන් වූ තැනැත්තියක හැටියටය. ප්‍රින්සි හා විවාහ වන පර්සිගේ චරිතය ඉදිරිපත් කෙරෙන්නේ ළමා වියෙහි ලද කඨෝර අත්දැකීම් විසින් පාලිත චෛතසිකයන් හේතු කොට ගෙන යථාර්ථයට මුහුණ දීමට අපොහොසත් ව තම ජීවිතය ද තමා ඇසුරට පත් වූවන්ගේ ජීවිත ද විනාශය කරා ගෙන යන ඉහළ මධ්‍යම පන්තික තරුණයකු හැටියට ය.
විවාහ සංස්ථාව තුළ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද කරන අරගලය මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙයි. බැලූ බැල්මට සුඛ විහරණයේ රැකවරණයෙහි උල්පතකැයි සිතෙන ඉහළ මධ්‍යම පාන්තික සුවිසල් මැදුරක් තරුණ තරුණියන්ගේ ජීවිත හුදකලා කිරීමට විනාශ කිරීමට ඉවහල් වන තැනක් බවට පත් වන අයුරු තුන්වෙනි යාමෙහි නිරූපණය කෙරේ. පර්සිගේ මනසේ විකෘතිය නිදන් කරවන මෙම මන්දිරය පසුකාලීනව ප්‍රින්සිගේ ජීවිතයද විනාශ කරවන තැනක් බවට පත් වේ. මානසිකව වශයෙන් ප්‍රින්සි පීඩාවන්ට ලක්වන අයුරු මෙම සිනමා නිර්මාණය මගින් තවදුරටත් පෙන්වා දෙයි.
තුන්වැනි යාමෙට ප්‍රස්තුත තේමාව වනුයේ ළමා වියේදී දෙමාපියන්ගේ ලිංගික චර්යාවන් වෙත නෙත් හෙලීමේ වරදට සිය පියාගෙන් දරුණු ලෙස දඬුවම් ලැබූ දරුවකු වැඩිහිටි වියේ දී විවාහ දිවියට ඇතුල් වීමෙන් අනතුරුව ද එම අත්දැකීම් දැඩි ලෙස මානසික බලපෑම් හේතුවෙන් තම විවාහ ජීවිතය තව සහගත තත්ත්වයකට පත් කරගන්නා ආකාරයයි.
ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වන පර්සි හා ප්‍රින්සි මධුසමය ගත කිරීමට යන පළමු දිනයේදීම පර්සි එක්තරා මානසික විකෘතියකින් පෙළෙන අයුරු එළිදැක්වේ. කුඩා කල ලද කඨෝර අත්දැකීම්වල සාපය ඔහුව මෙසේ මානසික රෝගියකු බවට පත් කිරීමට ඉවහල් වේ. මේ සියල්ලෙන්ම අවසාන වශයෙන් පීඩාවට පත්වනි ප්‍රින්සිය. ළමාවිය පටන් ම මානසිකව රෝගී වූ පුද්ගලයකු අබියස අසරණ වන යුවතියනක් ප්‍රින්සි කෙරෙන් දිස් වේ. මනාලියක වූ දිනයේම තරුණික වශයෙන් ගැටලු රාශියකට මුහුණ දෙන ඇය විවාහ වූ පළමු රාත්‍රියේ සිටම මැදිවන්නේ විසඳාගත නොහැකි ප්‍රශ්න රාශියකට ය. ඇය මානසික වශයෙන් පීඩාවට ලක්වන්නේ විවාහ දිවිය තුළ ඇති වන මෙවැනි ලැටළු හමුවේය.
තරුණියක විවාහ දිවියට පා තබන දිනය විශේෂ දිනයකි. ඇය විවාහ දිවියට ඇතුළත් වන්නේ දහසක් බලාපොරොත්තු හා අපේක්ෂාවන් පොදි බැඳගෙන ය. අඹු සැමියන් වශයෙන් එක්වන ප්‍රථම රාත්‍රිය ඔවුන්ගේ දිවියේ ඉමිහිරි මතක සටහනකි. ප්‍රින්සි ද විවාහ දිවියට ඇතුලත් වන්නේ මෙබඳු බලා බලාපොරොත්තු රාශියක් සිතේ දල්වාගෙන ය. ඇය විවාහ එළඹෙන්නේ අපේක්ෂා පුවර්වක සන්තුෂ්ටියෙනි. පර්සි හා විවාහ වන්නේ එම අලුත් ලෝකයෙන් දිනාගත හැකි මධුර ආධ්‍යාත්මික ඵල ඇතැයි සිතමිනි. එසේ වුවත් ඉන් නෙලාගත හැකි කිසිදු මධුර ආධ්‍යාත්මික ඵලයක් ඇයට දක්නට නොලැබේ. මානසික වශයෙන් ප්‍රින්සි පීඩාවට ලක්වන අයුරු මෙම සිදුවම් හරහා පැහැදිලි වේ.
විකෘති වූ මානසිකයක් ඇත්තකු හා විවාහ වීමෙන් විනාශයට පත් වන්නියක් ප්‍රින්සිගේ චරිතයෙන් අනාවරණය වේ. ඇය මානසිකව විදවමින් තම ජිවිතය ගෙවයි. විවාහ වූ රාත්‍රියේ ම ඇයට මුහුණ පෑමට වන්නේ නොසිතූ විරූ සිදුවීමකටය. දහසක් බලාපොරොත්තු සියල්ල විනාශ වී යයි. දිනෙන් දින රාත්‍රියක් රාත්‍රියක් පාසාම බලාපොරොත්තු පොදි බැඳගෙන ඇය තම සැමියාගේ සයනයට ගියද ඒ සෑම අවස්ථාවක් දී ම ඇය පිටමං වූයේ බලාපොරොත්තු සුන් වූ මනසකිනි. එම බලාපොරොත්තු හුදු සිහිනයන්ට පමණක් සීමා විය. විවාහ වී දින ගණන් මාස ගණන් ගත් වුවද ඇය පසුවන්නේ කන්‍යාවියක පරදිය. එමෙන්ම ඔවුන් රාත්‍රිය ගත කරන්නේද එකිනෙකාගෙන් දුරස්ථ ව ය කාමර දෙකක ය. මෙම සිදුවීම් සියල්ල හමුවේ ප්‍රින්සි මානසික ලෙස හිංසනයට ලක් වන අයුරු දැකිය හැකිය.
ඇය දිනෙන් දින අපේක්ෂා සාධනයෙහිලා නිරත වුණ ද එහි පීඩාකාරී බව ඇයට ඇයට වැටහුනද ඇය ගත කරන මොහොතක් මොහොතක් පාසා ඇගේ සිතේ වූ ආශාවන් නැවත අලුත් වෙමින් ලියාලා වැඩිම වැළැක්විය නොහැකි විය. මෙසේ අපේක්ෂාවන් දල්වා ගත් දෙනෙතින් යුත් ප්‍රින්සි චිත්‍රපටයේ එක් අවස්ථාවක මෙසේ පවසයි.
“අපි බැන්ද දවසේ ඉඳලා හැම රාත්‍රියකට මම සාප කෙරුවා ඒ වුණාට අද දවල් ඉඳලා අද රාත්‍රියට මං ආරාධනා කළා”
විවාහ වූ රාත්‍රියේ පටන් ඇගේ ආශාවන් ඇගේ සිහිනයන් විනාශ වුව ද එම සිහිනයන් පූර්ණ වශයෙන්ම ඇගේ මනසින් ඉවත් නොවූ බව පෙනේ. එම ආශාවන් කෙදිනක හෝ ඉෂ්ට වේ ය යන හැඟීම ප්‍රින්සිගේ මනසට නැගේ. තම ආශාවන් අභිමතාර්ථයන් ඉටු කරගැනීමට ප්‍රින්සි කීප අවස්ථාවකදීම උත්සාහ ගන්නා බව පෙනේ. මෙය චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම පෙන්නුම් කෙරේ. ඇයම සිය සැමියාගේ යහනට ගොස් ඔහු ව එය ස්පර්ශ කිරීමෙන් සිය ආශාවන් ප්‍රකාශ කරමින් ඔහු හා යහන්ගත වීමට උත්සාහ කළ ද සෑම රාත්‍රියකම ඇය ගත කරන්නේ ඔහු හා යහන්ගත වීමට නොහැකි වූ අපේක්ෂාවන් සුන් වූ තැනැත්තියක පරිදිය. ඇයගේ පවුල් ජිවිතය තුළින් ඇයට හිමි වන්නේ දුකක්ම පමණි. ප්‍රින්සි ඇයගේ සැමියාගේ ක්‍රියාවන් මගින් මානසික ලෙස පිඩාවට ලක් වේ.
ආශාවන් පොදි බැඳගෙන වුව තමන් බලා බලාපොරොත්තු නොවූ සමාජයක ජීවත් වීමට සිදුවන කාන්තාවක හදවතින් නැගෙන වේදනාබර රිද්මය ප්‍රින්සිගේ මුවින් පිටවන වචනයක් පාසා ධ්වනිතවේ. ආශාවන් දල්වාගෙන සිටි දෑතට එවැනි ආශාවක සේයාවක් හෝ දක්නට නොලැබෙන විට ඇය තුළ ඇති වන ඉච්ඡාභංගත්වය ඇගේ ස්වරයෙහි ගැබ්ව පවතී. චිත්‍රපටයේ එක් අවස්ථාවක ඇය පවසන්නේ,
“ගැහැණියකගේ හිතයි ගතයි දෙකම පිහිටලා තියෙන්නෙ වේදනා විඳින්න. ඔය දෙකෙන් එකක් සතුටු වෙන කොට එකක් වැලපෙනවා”
තවත් අවස්ථාවක ඇය පවසන්නේ
“ගත කරන පැය විසි හතරකට රාත්‍රිය උදා වෙලා නැහැ. ගැහැණියකුගේ ජීවිතයෙන් වැඩක් නැහැ රාත්‍රියක් උදා වෙන්නේ නැත්නම්”
තරුණියක වශයෙන් සිය ස්වාමි පුරුෂයාගෙන් අපේක්ෂා කළ ආදරය සතුට ඇය කෙරෙන් පලා යාමෙන් වේදනාව පසුතැවීම කලකිරීම ඇගේ ජීවිතය වෙලාගෙන ඇති බව මෙයින් පැහැදිලි වේ. පවුල් ජීවිතයෙහි කුණු කන්දල් ඉතාම අලංකාර අයුරින් කූට අයුරින් ආවරණය කිරීමට මධ්‍යම පන්තිය දරන උත්සාහය ප්‍රින්සිගේ මව විසින් ඇයට දෙනු ලැබෙන උපදෙස් වලින් අනාවරණය වේ. ප්‍රින්සි තමා මුහුණ පෑ අවාසනාවන්ත තත්ත්වයට විසඳුමක් සොයාගෙන සිය මව වෙත ගියත් එහි දී ඇගේ මව පවසන්නේ,
“ අපේ පරම්පරාවල් කිසිම කෙනෙක් මේ වන තෙක් කසාදෙ කටුගා ගත්තේ නෑ දුක හරි සැප හරි විඳගෙන උන්නා මිසක්”
මව පරම්පරාවේ පවුලේ නම්බුව රැකගැනීමට තම දියණියව අගාධයටම ඇද දැමීමට මෙහෙයවයි. පවුලේ නම්බුව ආරක්ෂා කිරීමට ඇය දියණියට දෙන උපදෙස් දියණියගේ විනාශයට මරණයට දොරගුළු විවර කරයි. මේ අනුව පරම්පරාවේ නම්බුව සමාජ තත්ත්වය රැක ගැනීම වෙනුවෙන් ඇය තවත් විවාහ සංස්ථාවට නතු වෙමින් තම ජීවිතය විනාශ කර ගනී. මෙම සිනමා නිර්මාණය පුරාවට ප්‍රින්සි මානසික ලෙස පිඩාවට ලක් වන අයුරු දැකි හැකිය. පවුල් සංස්ථාව තුළ ඇති වන ප්‍රශ්න හමුවේ ඇය මානසිකවත් වාචිකවත් හිංසනයට ලක් වේ.
“දඩයම” සහ “තුන්වෙනි යාමය” සිනමා නිර්මාණයන් ද්ව්ත්වය ගෘහස්ථ හිංසනය තුළ මානසිකව, වාචිකව මෙන්ම ශාරීරිකව පීඩාවන්ට ලක්වන කාන්තාවන් දෙදෙනෙකු පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. සමාජය තුළ විවිදාකාරයේ ප්‍රශ්න දැකිය හැකිය. එවන් ප්‍රශ්න හමුවේ කාන්තාව නැමති චරිතය මුහුණ දෙන ප්‍රශ්න බොහෝමයකි. සිනමාකරුවන් බොහෝ විට මෙවැනි සමාජීය ප්‍රශ්න සිය නිර්මාණයන්ට වස්තු විෂය කරගනියි. සමාජයේ ජිවත්වන පුද්ගලයින් වශයෙන් අප මුහුණ දෙන බොහෝමයක් ගැටළු තේමාව කරගනිමින් ඒ පිළිවද තව තවත් සමාජය දැනුවත් කිරීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරයි. එවන් උත්සහයක ප්‍රතිඵලයක් වශයෙන් දඩයම සහ තුන්වෙනි යාමය චිත්‍රපට ද්ව්ත්වය නිර්මාණය වන්නට ඇත. රත්මලී සහ ප්‍රින්සි යන චරිතයන් දෙක එකින් එකට වෙනස් වු චරිත දෙකකි. නමුත් ඒ චරිත ද්ව්ත්වයෙන්ම කතා කරනු ලබන්නේ සමාජයේ කාන්තාව ගෘහස්ථ ජිවිතය තුළ මුහුණ පැමට සිදුවන ප්‍රශ්නයන්ය. මානසිකව මෙන්ම ශාරීරිකව මෙම චරිත ද්ව්ත්වය හිංසනයට ලක් වේ. මේ ආකාරයට සිනමා නිර්මාණයන් මගින් සමාජීය ප්‍රශ්න තේමා කර ගනිමින් නිරූපණය කර ඇති ආකාරය දැකිය හැකිය. ඒ සදහා නිදර්ශන වශයෙන් ඉහත චිත්‍රපට ද්ව්ත්වය පෙන්වා දිය හැකිය.
✍ Nilakshi Balasooriya



















